ISIS ත්‍රස්තයන්ගෙන් පැරිස් නුවරට දරුණු ප්‍රහාරයක්


ප්‍රංශයේ පැරිස් නුවර සැලකෙන්නේ ලෝකයේ ආරක්ෂිතම නගරයක් විදියටයි. ඒ වගේම ඉතාම සාමකාමී නගරයක් විදියටයි. මේ නගරයේ සාමකාමී බව බිඳ දමමින් පසුගිය සිකුරාදා රාත්‍රියේ පැරිස් නගරය පුරා ස්ථාන කිහිපයකම ප්‍රහාර මාලාවක් එල්ල වන්නට විය. දශක ගණනාවකට පසු ප්‍රංශය ට මුහුණ දීමට සිදුවූ දරුණුම ප්‍රහාරය මෙය බවට සැලකෙනවා. මේ ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය පිළිබඳව රාත්‍රී 9.45ට පමණ වාර්තා වන්නට විය. පැරිස් නුවර නැගෙනහිර ප්‍රදේශයට වන්නට වූ ප්‍රසිද්ධ අවන්හලක් තුලට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් එහි සිටි පිරිසට වෙඩි වරුසාවක් එල්ල කර තිබේ. එම සිද්ධියෙන් සුළු මොහොතකට පසු ජාතික ක්‍රීඩාංගනය ප්‍රදේශයේ බෝම්බ තුනක් පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වන්නට විය. මේ මොහොත වන විටත් ප්‍රංශ ජනපති ප්‍රංශය සහ ජර්මනිය අතර සුහද පාපන්දු ක්‍රීඩා තරඟයක් නරඹමින් සිටියා. ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන් 80,000ක් පමණ ඒ අවස්ථාවේ රැඳී සිට තිබෙනවා. අනතුරුව වහාම ජනපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක‍ටයුතු කර තිබෙනවා. මේ අතර බැටක්ලාන් රඟහලට ද ත්‍රස්තයන් විසින් ප්‍රහාරයක් එල්ල කෙරුණා. මේ ස්ථානයේ මේ වන විටත් සංදර්ශනයක් පැවැත්වෙමින් තිබුණු අතර මෙයට පැමිණ සිටි පිරිස අතර ආබාධිත පුද්ගලයන් ද වුණා. ත්‍රස්තයන් අතින් ඔවුන් බොහෝ දෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණු බව සිද්ධියෙන් දිවි ගලවාගත් සමහරෙක් පවසනවා.මේ අතර ත්‍රස්තයන්ගෙන් පලායාමට උත්සාහකල පුද්ගලයන් බොහෝ දෙනෙකුටත් වෙඩි තබන ලද බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එම නිසා ඔවුන් බිම දිගාවී සිට තම ජීවිතය ගලවා ගැනීමට සමත්වී තිබෙනවා. මේ ස්ථානයේ දී පමණක් 80 දෙනෙකු පමණ ඝාතනයට ලක් වී තිබෙනවා.

ත්‍රස්තයන්ගේ මේ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 130ක් පමණ වන බවට සැලකෙන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ මේ ප්‍රමාණය 150ක් දක්වා ඉහල යා හැකි බවයි. කෙසේ නමුත් සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 250ත් 300ත් අතර බව වාර්තා වෙනවා. ආරක්ෂක අංශවලට ලඟා වීමට අපහසු ආකාරයෙන් ත්‍රස්තයන් එම ස්ථාන වල සිටි පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගත බවත් දැනගන්නට ලැබෙනවා. මේ ප්‍රහාර සඳහා පැමිණි ත්‍රස්තවාදීන් සියල්ලම පාහේ මරණයට පත් වී ඇති බවට සැලකෙනවා. 7 දෙනෙකු පමණ බෝම්බ පුපුරවාගෙන මියගොස් ඇති අතර තවත් එක් අයෙක් ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ ප්‍රහාර මාලාව සිදු වූ ස්ථාන පහත දැක්වෙනවා.

La Belle Equipe, 92 rue de Charonne, 11th district – 19 දෙනෙක් වෙඩි පහරින් මරණයට පත්ව ඇත
Le Carillon bar and Le Petit Cambodge restaurant at rue Alibert, 10th district – 12 දෙනෙක් වෙඩි පහරින් මරණයට පත්ව ඇත
La Casa Nostra restaurant, 92 rue de la Fontaine au Roi, 11th district – 5 දෙනෙක් වෙඩි පහරින් මරණයට පත්ව ඇත
Stade de France, St Denis, just north of Paris – මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 3 දෙනෙක් මරණයට පත්ව ඇත
Bataclan concert venue, 50 boulevard Voltaire, 11th district – වෙඩි පහරින් 80 දෙනෙක් පමණ මරණයට පත්ව ඇත

මේ සිදුවීමත් සමඟම ප්‍රංශය ම ශෝකයෙන් සහ භීතියෙන් ඇලලී ගියා. රජය සියලු පාසල්, පුස්තකාල, කෞතුකාගාර, වෙළඳසැල් වසා තැබීමට නියෝග කර තිබෙනවා. ඒ අතරම ප්‍රංශ දේශ සිමා ද වසා තැබීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රංශය පුරා ආරක්ෂාව තර කර තිබෙනවා අතර මේ සිදුවීම පිළිබඳව ශෝකය පල කරන කරන ප්‍රංශ ජනපති ෆ්‍රැන්සිස් හොලන්ඩේ ( Francois Hollande) දින තුනක ශෝක දින කාලයක් ප්‍රකාශයට පත් කල අතර ප්‍රංශය විසින් මේ ප්‍රහාරය සුළු කොට නොතකන අතර ඒ සඳහා වන්දි ගෙවීමට ත්‍රස්තයන් ට සිදු වන බවත් තරයේ අවධාරණය කර සිටියා.

මේ සිද්ධියේ වගකීම ISIS ත්‍රස්තයන් විසින් මේ වන විට බාරගෙන තිබෙන අතර ඊයේ දිනයේ පැරිස් නුවර අයිෆල් කුලුනේ ආලෝකය නිවා දැමුනේ සිද්ධියෙන් මිය ගිය පිරිසට ශෝකය පල කිරීමටයි. මේ සිදුවීම පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වී ඇති අතර සිද්ධිය පිලිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා පැවසුවේ මෙය අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරයක් බවයි. මුළු ලෝකයම ප්‍රංශය වෙත සිය ශෝකය පල කර සිටිනවා.

log in

reset password

Back to
log in